කටු අස්සේ හැංගුණු ජීවිතේ "සූත්තරේ"

Comments · 2 Views

පතොක් කිව්වාම අපිට මතක් වෙන්නේ කටු පිරුණු, රළු, කාන්තාරවල තනිවුණු ශාකයක්නේ. හැබැයි පොඩ්ඩක් හිතලා බැලුවොත්, පතොක් කියන්නේ ජීවිතයට මරු පාඩම් ටිකක් කියාදෙන "මාර" ගතිගුණ තියෙන ඩයල් එකක්.

අපි හැමෝම කැමති රෝස මල් වගේ සිනිඳු, සුවඳ දේවල් වලටනේ. හැබැයි කාන්තාරේ රස්නය මැද, පස් පොඩ්ඩක්වත් නැති ගල් අස්සේ, කවුරුත් වතුර දාන්නේ නැතිව ඉන්න මේ පතොක් කියන්නේ නිකම්ම ගහක් නෙවෙයි, ඒක "ජීවත් වීමේ කලාව" ගැන ලියවුණු පොතක් වගෙයි.

1. කටු තිබුණට හිත හොඳයි!

පතොක් ගහක් දැක්ක ගමන් අපිට හිතෙන්නේ ඒක හරිම රළුයි කියලා. හැබැයි ඒ කටු තියෙන්නේ තමන්ව ආරක්ෂා කරගන්න මිසක් කාටවත් රිද්දන්න නෙවෙයි. අනික, ඒ රළු පෙනුම ඇතුළේ තියෙන්නේ හරිම මෘදු, ජලය පිරුණු හදවතක්. හරියට අපේ ජීවිත වල මුණගැහෙන "පිටින් රළු - ඇතුළෙන් මෘදු" මිනිස්සු වගේ.

2. අඩුවෙන් ලැබෙන දේ වැඩියෙන් අගය කිරීම

වෙන ගස් වලට ලීටර් ගණන් වතුර ඕන වෙද්දී, පතොක් ගහ පුංචි පිනි බිංදුවක් පවා තමන්ගේ ඇතුළේ තැන්පත් කරගන්නවා. ජීවිතේ හැමදේම "වැඩියෙන්" බලාපොරොත්තු වෙන ලෝකෙක, "අඩුවෙන් ලැබෙන දේකින් උපරිම ප්‍රයෝජන ගන්න" පතොක් අපිට කියලා දෙනවා.

3. පිපෙනකම් ඉවසීම

පතොක් මලක් පිපෙන්න හරිම කලාතුරකින්. හැබැයි ඒ මල පිපුණාම තියෙන ලස්සන? ඒක වචනයෙන් කියන්න බැහැ. පතොක් අපිට උගන්වන්නේ සාර්ථකත්වය කියන "මල" පිපෙනකම් රළු කාන්තාරයක් මැද වුණත් නොසැලී ඉන්න ඕන කියන එකයි.

4. "ඇඩැප්ට්" වීමේ කලාව 

ලෝකේ වෙනස් වෙද්දී මැරෙන්නේ නැතුව ඉන්න නම් අපිත් වෙනස් වෙන්න ඕනේ. පතොක් කළේ ඒකයි. අනිත් ගස් වලට වගේ පතොක්ට ලොකු කොළ නැහැ. මොකද කොළ තිබුණොත් වතුර වාෂ්ප වෙලා යනවා. ඒ නිසා පතොක් තමන්ගේ කොළ ටික කටු බවට පත් කරගත්තා. තමන්ට තියෙන ලොකුම දුර්වලතාවය (වතුර නැතිකම), තමන්ගේ ලොකුම ශක්තිය (කටු සහ ඝනකම් කඳ) බවට හරවගන්න හැටි පතොක්ගෙන් ඉගෙනගන්න පුළුවන්.

මල් වත්තක ලස්සනට ඉන්න හැමෝටම පුළුවන්. හැබැයි කිසිම දෙයක් නැති තැනක, තනියම නැගිටලා ඉන්න පුළුවන් වෙන්නේ පතොක් වගේ හිත හයිය මිනිස්සුන්ට විතරයි!

Comments