පුරාවිද්‍යාවේ LiDAR තාක්ෂණය: පොළොව යට සැඟවුණු ඉතිහාසයේ සලකුණු හඳුනාගැනීම - දෙවෙනි කොටස
Maya ශිෂ්ටාචාරය සහ LiDAR
Maya ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණවලදීත් LiDAR විශාල වෙනසක් ඇති කර තිබේ.මීට පෙර පුරාවිද්‍යාඥයන්ට වනාන්තරය තුළ පෙනෙන ස්ථාන පමණක් සීමිත ලෙස සිතියම්ගත කිරීමට සිදු විය. එම නිසා හඳුනාගත් ස්ථාන සම්පූර්ණ පුරාණ ජනාවාසය නියෝජනය කරනවාද යන්න පිළිබඳ සැකයක් පැවතුණි. LiDAR සමීක්ෂණ මගින් විශාල ප්‍රදේශ එකවර සිතියම්ගත කිරීමේ හැකියාව ලැබීමත් සමඟ Maya ජනාවාසවල සැබෑ ව්‍යාප්තිය සහ මිනිසුන් විසින් භූමිය වෙනස් කළ ආකාරය පිළිබඳ අවබෝධය විශාල ලෙස පුළුල් විය.
පුරාණ වාරි පද්ධති සොයාගැනීමට LiDAR
පුරාවිද්‍යාව සහ වාරි ඉතිහාසය අතර සම්බන්ධතාවයත් LiDAR මගින් විශේෂයෙන් අධ්‍යයනය කළ හැකිය.පැරණි සමාජයන් තම කෘෂිකර්මාන්තය සඳහා භූමිය වෙනස් කළ ආකාරය, ජලය ගෙන ගිය ඇළ මාර්ග, ජලාශ, පස් බැමි සහ වගා බිම් වැනි ලක්ෂණ භූමියේ ඉතිරිව තිබිය හැකිය.ඒවා සමහරවිට අද වන විට කැලෑවෙන් වැසී හෝ ස්වභාවික භූමි ලක්ෂණ සමඟ මිශ්‍ර වී තිබිය හැකිය. LiDAR දත්ත මගින් එම සුළු උස්-පහත් වෙනස්කම් හඳුනාගෙන පැරණි වාරි හා කෘෂිකාර්මික පද්ධති පිළිබඳ නව තොරතුරු ලබාගත හැකිය. මෙය ශ්‍රී ලංකාව වැනි පුරාණ වාරි තාක්ෂණයෙන් පොහොසත් රටකට විශේෂයෙන් වැදගත් පර්යේෂණ අවස්ථාවක් වේ.
පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණයට LiDAR
LiDAR හි වැදගත්කම සොයාගැනීම්වලට පමණක් සීමා නොවේ.පුරාවිද්‍යාත්මක ස්ථානයක වර්තමාන තත්ත්වය ඉතා නිවැරදිව ඩිජිටල් ලෙස සටහන් කර තබාගත හැකිය. අනාගතයේදී එම ස්ථානයට හානියක් සිදු වුවහොත්, පෙර ලබාගත් 3D දත්ත සමඟ සංසන්දනය කර වෙනස්කම් හඳුනාගත හැකිය.
ඒ අනුව LiDAR දත්ත:
* පුරාවිද්‍යා ස්ථාන ලේඛනගත කිරීමට
* ස්මාරකවල වෙනස්කම් නිරීක්ෂණය කිරීමට
* සංරක්ෂණ සැලසුම් සකස් කිරීමට
* 3D ආකෘති නිර්මාණය කිරීමට
* Virtual Museum සහ Virtual Tour නිර්මාණය කිරීමට
* අධ්‍යාපනික කටයුතු සඳහා භාවිත කළ හැකිය.
LiDAR වර්ග
පුරාවිද්‍යා පර්යේෂණ සඳහා LiDAR විවිධ ආකාරයෙන් භාවිත කළ හැකිය.
1) Airborne LiDAR
ගුවන් යානයක්, හෙලිකොප්ටරයක් හෝ Drone එකක් මත LiDAR උපකරණය සවි කර භූමිය ඉහළින් පරීක්ෂා කරයි. විශාල ප්‍රදේශ ඉක්මනින් සිතියම්ගත කිරීම මෙහි ප්‍රධාන වාසියකි.
2) Terrestrial LiDAR
භූමියේ සිට Scanner එකක් භාවිත කර සිදු කරන ක්රමයකි. පුරාණ ගොඩනැගිලි, ගල් ලිපි, ප්‍රතිමා සහ ස්මාරක වැනි වස්තූන් ඉතා ඉහළ විස්තර මට්ටමකින් 3D ලෙස ලේඛනගත කිරීමට මෙය වඩාත් සුදුසුය.
3) Bathymetric LiDAR
ජලය යට භූමි ලක්ෂණ අධ්‍යයනය කිරීමට භාවිත කරන LiDAR වර්ගයකි. ජලය හරහා ගමන් කළ හැකි හරිත ලේසර් භාවිතයෙන් නොගැඹුරු ජලයේ ඇති පුරාණ වෙරළබඩ ජනාවාස හෝ ගිලී ඇති ව්‍යුහ වැනි දෑ අධ්‍යයනය කළ හැකිය.
LiDAR හි සීමාවන්
LiDAR ඉතා ප්‍රබල තාක්ෂණයක් වුවද, එය සෑම පුරාවිද්‍යාත්මක ගැටලුවකටම විසඳුමක් නොවේ.විශේෂයෙන් වැදගත් කරුණක් වන්නේ LiDAR මගින් පස් ඇතුළත සෘජුව දැකිය නොහැකි වීමයි. එය ප්‍රධාන වශයෙන් භූමියේ මතුපිට හැඩය මැනීම සිදු කරයි. එම නිසා පස් යට සැඟවී ඇති වස්තූන් සෘජුව හඳුනාගැනීමට GPR වැනි වෙනත් තාක්ෂණ අවශ්‍ය විය හැකිය.එමෙන්ම LiDAR මගින් ලැබෙන දත්ත ප්‍රමාණය ඉතා විශාල බැවින් ඒවා සැකසීමට විශේෂ මෘදුකාංග සහ පුහුණු විශේෂඥයන් අවශ්‍ය වේ. Airborne සහ Bathymetric LiDAR පද්ධති සඳහා වියදමද සැලකිය යුතු විය හැකිය.
ශ්‍රී ලංකාවට LiDAR වැදගත් වන්නේ ඇයි?
ශ්‍රී ලංකාව පුරා සියවස් ගණනාවක් පැරණි නගර, ආරාම, මාර්ග, ජලාශ සහ වාරි පද්ධති විශාල ප්‍රමාණයක් පවතී. ඒවායින් සමහරක් අද වන විට වනාන්තර හා ස්වභාවික ශාක ආවරණය යට සැඟවී තිබිය හැකිය.අනුරාධපුරය සහ පොළොන්නරුව වැනි පුරාණ නගරවල පමණක් නොව, රිටිගල, යාපහුව සහ අනෙකුත් පුරාවිද්‍යාත්මක ප්රදේශවලද විශාල භූමි ප්‍රදේශයක් ක්‍රමානුකූලව සිතියම්ගත කිරීමට මෙවැනි තාක්ෂණයක් වැදගත් විය හැකිය.විශේෂයෙන් පුරාණ වාරි පද්ධති, පැරණි මාර්ග සහ ආරාමික පරිශ්‍ර වැනි විශාල භූමි ප්‍රදේශයක පැතිර ඇති පුරාවිද්‍යාත්මක ලක්ෂණ අධ්‍යයනය කිරීමේදී LiDAR මගින් පර්යේෂකයන්ට මුල් පර්යේෂණ අදියරේදී වැදගත් මඟපෙන්වීමක් ලබාදිය හැකිය.
පුරාවිද්‍යාවේ අනාගතය කියන්නේ පරණ දේවල් පස් යටින් සොයාගැනීම පමණක් නොවේ. අපට නොපෙනෙන ඉතිහාසය තාක්ෂණය හරහා කියවීමද පුරාවිද්‍යාවේ නව යුගයක කොටසකි.LiDAR මගින් වනාන්තරයක් දෙස බැලූ විට පෙනෙන්නේ ගස් පමණක් විය හැකිය. නමුත් එම දත්ත නිවැරදිව විශ්ලේෂණය කළ විට, ඒ ගස් යට තිබූ පැරණි මාර්ගයක්, නගරයක සැලැස්මක්, වාරි පද්ධතියක් හෝ මිනිසුන් සියවස් ගණනකට පෙර භූමිය වෙනස් කළ ආකාරයක් හඳුනාගත හැකිය.ඒ නිසා LiDAR යනු පුරාවිද්‍යාඥයා වෙනුවට ක්‍රියා කරන තාක්ෂණයක් නොව, පුරාවිද්‍යාඥයාට ඉතිහාසය දෙස නව ආකාරයකින් බැලීමට උපකාර කරන බලවත් මෙවලමකි.
