පුරාවිද්‍යාවේ LiDAR තාක්ෂණය: පොළොව යට සැඟවුණු ඉතිහාසයේ සලකුණු හඳුනාගැනීම

අද පුරාවිද්‍යාව කියන්නේ පස් හාරමින් පැරණි වස්තූන් සොයාගැනීම පමණක් නොවේ. නවීන තාක්ෂණය සමඟ පුරාවිද්‍යාඥයන්ට විශාල භූමි ප්‍රදේශයක් ස්පර්ශ නොකර, එහි සැඟවී ඇති පුරාණ මිනිස් ක්‍රියාකාරකම්වල සලකුණු හඳුනාගැනීමට හැකියාව ලැබී තිබේ. ඒ අතරින් විශේෂ වැදගත්කමක් හිමි තාක්ෂණයක් වන්නේ LiDAR (Light Detection and Ranging) ය.LiDAR භාවිතයෙන් වනාන්තර, කැලෑ සහ ඝන ශාක ආවරණය නිසා මිනිස් ඇසට නොපෙනෙන පුරාණ මාර්ග, ගොඩනැගිලි පදනම්, පස් බැමි, ඇළ මාර්ග, ජලාශ සහ නගර සැලසුම්වල සලකුණු හඳුනාගත හැකිය. මේ නිසා පුරාවිද්‍යා පර්යේෂණයේදී විශාල භූමි ප්‍රදේශයක් පිළිබඳ නව දෘෂ්ටිකෝණයක් ලබාදෙන තාක්ෂණයක් ලෙස LiDAR අද සැලකේ.

LiDAR යනු කුමක්ද?

සරලව කිවහොත්, LiDAR යනු ලේසර් කිරණ භාවිත කර භූමියේ උස, හැඩය සහ මතුපිට ලක්ෂණ මැනගන්නා Remote Sensing තාක්ෂණයකි.LiDAR උපකරණයක් මගින් තත්පරයකදී ලේසර් ස්පන්දන විශාල සංඛ්‍යාවක් භූමිය දෙසට යවයි. එම කිරණ ගසක කොළයක, ගොඩනැගිල්ලක, පර්වතයක හෝ භූමියේ මතුපිටක වැදී නැවත සංවේදකය වෙත පැමිණේ. කිරණය පිටවී නැවත පැමිණීමට ගතවන කාලය මැනීමෙන් එම ස්ථානයේ දුර ගණනය කළ හැකිය.මෙය මිලියන ගණනක් වාරයක් සිදු කළ විට, භූමියේ ත්‍රිමාන දත්ත ලක්ෂ්‍ය විශාල ප්‍රමාණයක් ලැබේ. ඒවා 3D Point Cloud එකක් ලෙස හැඳින්වේ. පසුව විශේෂ මෘදුකාංග මගින් එම දත්ත විශ්ලේෂණය කර භූමියේ සැඟවී ඇති රටා හඳුනාගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකියාව ලැබේ.

වනාන්තරයක් යට තිබෙන පුරාණ නගරයක් හඳුනාගන්නේ කොහොමද?

LiDAR හි විශේෂත්වය තේරුම් ගැනීමට සරල උදාහරණයක් ගනිමු.

ඝන වනාන්තරයක පැරණි නගරයක් තිබුණා යැයි සිතන්න. අවුරුදු සිය ගණනක් තිස්සේ එහි ගස් වැඩී ඇති අතර පැරණි ගොඩනැගිලි බොහොමයක් කඩා වැටී තිබේ. බිම සිට බැලූ විට එය සාමාන්‍ය කැලෑවක් ලෙස පෙනෙන්නට පුළුවන.නමුත් ගුවන් මාර්ගයෙන් LiDAR පරීක්ෂණයක් සිදු කළ විට, ලේසර් කිරණවලින් ලැබෙන දත්ත මගින් ගස් ආවරණය අතරින් භූමියේ හැඩය පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. පසුව ශාක හා අනෙකුත් දත්ත පෙරීමෙන් භූමියේ මතුපිට උස්-පහත් රටාව පැහැදිලිව පෙන්වන සිතියමක් සකස් කළ හැකිය.එහිදී සාමාන්‍යයෙන් නොපෙනෙන සෘජු රේඛා, පස් බැමි, පැරණි මාර්ග, වළවල්, ගොඩනැගිලි පදනම් සහ ජලාශ වැනි රටා පෙනී යා හැකිය.ඒ නිසා LiDAR කියන්නේ පස් ඇතුළත X-ray එකක් මෙන් සෘජුව බලන තාක්ෂණයක් නොවෙයි. එය භූමියේ මතුපිට ඇති ඉතා සුළු උස්-පහත් වෙනස්කම් හඳුනාගෙන, ඒවා පුරාණ මිනිස් ක්‍රියාකාරකම්වල සලකුණු විය හැකිදැයි පර්යේෂණය කිරීමට උපකාර කරන තාක්ෂණයකි.

LiDAR පුරාවිද්‍යාවේදී භාවිත කරන ආකාර

1. වනාන්තර තුළ සැඟවුණු පුරාවිද්‍යාත්මක ස්ථාන සොයාගැනීම

ඝන වනාන්තර නිසා පුරාවිද්‍යාත්මක ස්ථාන සොයාගැනීම ඉතා අපහසු විය හැකිය. LiDAR මගින් එවැනි ප්‍රදේශවල භූමියේ හැඩය අධ්‍යයනය කර පුරාණ ව්‍යුහවල සලකුණු සොයාගත හැකිය.මධ්‍යම ඇමරිකාවේ Maya ශිෂ්ටාචාරය ආශ්‍රිත ප්‍රදේශවල LiDAR භාවිතය මෙයට ප්‍රබල උදාහරණයකි. වනාන්තර ආවරණය නිසා කලින් සම්පූර්ණයෙන් සිතියම්ගත කිරීමට නොහැකි වූ විශාල ප්‍රදේශවල ජනාවාස සහ භූමි භාවිත රටා හඳුනාගැනීමට එය උපකාර වී තිබේ.

2. පුරාණ නගර සිතියම්ගත කිරීම

LiDAR මගින් එක් ගොඩනැගිල්ලක් පමණක් නොව සම්පූර්ණ නගරයක සැලසුම අධ්‍යයනය කළ හැකිය.පුරාණ මාර්ග කොහේ තිබුණාද? නිවාස කුමන ප්‍රදේශවල තිබුණාද? ජලාශ සහ ඇළ මාර්ග එකිනෙකට සම්බන්ධ වූයේ කෙසේද? නගරයේ විවිධ කොටස් අතර සම්බන්ධතාව කුමක්ද? වැනි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට LiDAR දත්ත උපකාරී වේ.

Angkor හි සිදු වූ විශේෂ සොයාගැනීම

LiDAR පුරාවිද්‍යාවේ බලපෑම පෙන්වන ප්‍රසිද්ධ උදාහරණයක් වන්නේ කාම්බෝජයේ Angkor ප්‍රදේශයයි.ඝන වනාන්තරයෙන් වැසී තිබූ ප්‍රදේශයක Airborne LiDAR භාවිතයෙන් සිදු කළ පර්යේෂණ මගින් මීට පෙර සම්පූර්ණයෙන් සිතියම්ගත කර නොතිබූ පුරාණ නාගරික භූ දර්ශන හඳුනාගැනීමට හැකි විය. එහිදී පුරාණ මාර්ග, ඇළ මාර්ග, පොකුණු, වාසස්ථාන සහ අනෙකුත් නාගරික ව්‍යුහ පිළිබඳ සාක්ෂි හඳුනාගන්නා ලදී. මේ හේතුවෙන් Angkor යනු විශාල විහාර කිහිපයක් පමණක් සහිත ස්ථානයක් නොව, ඉතා සංකීර්ණ නාගරික හා ජල කළමනාකරණ පද්ධතියක් සහිත විශාල ජනාවාසයක් බව තේරුම් ගැනීමට පර්යේෂකයන්ට හැකි විය.

----------
දෙවෙනි කොටසින් හමුවෙමු.

image